ප්‍රබන්ධයකට එහා ගිය මගේ කතාව -01

පොඩි කාලයක් නෙමේ අවුරුදු 15ක්!අවුරුදු 15ක් මගේ හිත ඇතුලේ හංගගෙන හිටපු දේ එලියට දාන්න දැන් කාලේ හරි. පිලිගන්න බැරි කතාවක් වුනත් මේක මගේ ජිවිතේ ඇත්තටම වුන සිද්දියක්
එතකොට මට යන්තන් 15 සම්පූර්ණ වුනා විතරයි.මගේ ජීවිතේ හුගක් ඒකාකාර වෙලා තිබ්බේ.හැමදාම ඉස්කෝලෙ යනවා,ගෙදර එනවා,පන්ති යනවා.ගෙදර ඇවිල්ලා ටීවි බලන්න බෑ ,සෙල්ලං කරන්න යන්න බෑ.පාඩම්ම තමා.ඒ වුනාට මං කරපු පාඩමකුත් නෑ.ආ මට කියන්න බැරිවුනා මගේ අම්මා ගුරුවරියක් ,තාත්තා ඉංජිනියර් කෙනෙක්.තාත්තා සයිට් වල වැඩ නිසා නිතරම ගෙදර නෑ.ගුරුවරියක් වෙච්ච මගේ අම්මා තාත්තත් නිතරම ගෙදර නැති නිසා අපිට ටිකක් තදට හිටියා තදට කිව්වේ නාසි නායක හිට්ලර් වගේ තදට .මමයි,අයියයි,නංගියි ඒ පාලනයෙන් පීඩා විදපු යුදෙව්වෝ තුන් දෙනෙක් වගේ.කොහොම හරි එක දවසක් වෙච්ච දේකින් පස්සේ මගේ ජිවිතේම වෙනස් වුනා.
ඒ 2004 අවුරුද්දේ ජනවාරි මාසේ මට දිනේ හරියටම මතක නෑ.එදත් සුපුරුදු විදිහටම 138 බස් එක වගේ බඩ ලෝඩ් වෙනකන් කාලා නමෝ විත්තියෙන් නිදාගන්න ගියා.මාරාන්තික මුත්‍රා බරක් නිසා මගේ සුව නින්ද කැඩිලා මාව ඇහරුනා.වෙලාව පාන්දර තුනයි.පහට නැගිටින්නත් ඕනේ ඉස්කෝලේ යන්න.ඉක්මනට බර නිදහස් කරගෙන නිදාගන්න එනවා කියලා හිතන් ඇදෙන් නැගිට්ටා.සාමාන්‍යයෙන් මන් කොල්ලෙක් විදිහට ගොඩක් අවදානම් වැඩ වලට අත දාන්නේ නෑ.මේ පාන්දර සද්ද කරලා අම්මාගෙන් බැනුම් අහගන්න වෙන්නේ.ඒ නිසා මේ වගේ වෙලාවක ටොයිලට් එකට යන එක ගොඩක් අවදානම් වැඩක්.අපේ ගෙදර වත්තේ මැදට වෙන්න තියෙන්නේ .වත්තේ ගොඩක් තැන් වල ලස්සනට ලයිට් හයි කරලා තියෙන්නේ .ඒවාගෙන් දෙකක් ඇරුනම ඉතුරු ඒවා නිවලා තියෙන්නේ .මන් ඉතින් හිමින් සැරේ සාලෙට ඇවිත් වත්තේ ඔක්කොම ලයිට් දාලා සද්දයක් ඇහෙන්නේ නැතිවෙන්න දොර ඇරියා.වත්තම එලියයි ලයිට් නිසා.මුකුත් අවුලක් පේන්න නැති නිසා මං ගිහින් අම්මා ආදරයෙන් හදන රෝස පැලයක් උඩට මගේ බර නිදහස් කලා .බර නිදහස් කරලා මං නිකමට උඩ බැලුවා.ආමාශය බල්ටිගහයි! පිත්ත්‍රාශය විසිල් ගහයි.අහසේ තරූ ,වලාකුලු,හද මොකවත් නෑ.අහස වෙනදා පාට නෙමේ.මහා අමුතු අලු පාටක්.ටික ටික ඒ අලු පාට වැඩි වෙලා අහස  පොඩි වෙනවා වගේ.එනපොට හොද නෑ කියලා මං දොර ගාවට දිව්වා.ඒත් මං ඇතුලට යන්නේ නැතුව දොර ගාවට වෙලා බලං හිටියා.කලින් තරම් ලොකු නැති අලුපාට දෙයක් පහලට එනවා.මගේ ඔලුව ෆුල් හොල්මන්.පිටසක්වල ජීවීන් ලංකාව ආක්‍රමනය කරන්න එනවාවත්ද?වෙන්න බෑ පිටසක්වල ජීවීන් ආක්‍රමණය කරන්නේ ඇමරිකාව විතරනේ.තත්පර ගානයි ගියේ ඒ අලුපාට දේ අපේ වත්තට වැටුනා.වැටුනට වඩා ගොඩබෑවා කිව්වා නම් හරි.මට මගේ ඇස් දෙක විශ්වාස කරන්න බැරි වුනා.අශ්වයෙක්ට වඩා ටිකක් ලොකු මහ අමුතු කුරුල්ලෙක්.මට හීන් දාඩිය දාලා බයටම කලන්තේ දාලා වැටුනා.ආපහු සිහිය එද්දිත් ඒ සතා මං දිහා බලාගෙන ඉන්නවා.මට ජිවිතේ පලවෙනි වතාවට මරණ බය දැනුනා.මූ මාව කන්න යන්නේ .මං ඉවරයි ." මං ඔයාව කන්නේ නෑ ලමයෝ" මං හිතපු දේ මුට ඇහුනේ කොහොමද ???
..............................................................

එතනින් පස්සේ මගේ මුලු ජිවිතේම ගොඩක් වෙනස් වුනා.මේක විශ්වාස කරන්න බැරි කතාවක් තමා ඒත් ඊලගට කියන කතාවත් එක්ක ඔයාලා මාව විශ්වාස කරයි.

Comments