නුඹත් විරුවෙකි

මා එතනට දිව යන විටත් ඔහුගේ මුහුණට වැදි තිබු මුශ්ටි ප්‍රහාර නිසා මුහුණ  ඉදිමි තිබුනි.එම ගැටුමට සම්බන්ධ වීමට මා හට කිසිදු හේතුවක් නොතිබුනත් කුඩා කල සිට පැවති මුරණ්ඩුකමත් මාගේ රැකියාව  නිසාම ලැබුනු ආත්මවිශ්වාසයත් පෙරදැරීව මා ඔවුන් දෙසට  මාගේ රාජකාරි ගිනි අවිය එල්ල කලෙමි.
"ඔය මනුස්සයා අත ඇරලා ඔතනින් අහකට වෙයන්.මම ආමි එකේ."
මාගේ නිලඇදුම දුටු ඔවුන් පහරදීම නවතා බියෙන් මෙන් පසෙකට දිව ගියහ. සැණෙකින් ඔහු දෙසට දිවගිය මම ඔහු නැගිට්ටවා ඔහුගේ ගමන් මල්ල ඔහු අතට දුන්නෙමි.
"මල්ලීට ගොඩක් පින්!මල්ලී නැත්තන් අරුන් මට හොදටම ගහනවා "
ඔහු අමාරුවෙන් කොරගසමින් මට ස්තූති කලේය.මුහුණ තුවාල වී නැතත් ගැටුම නිසා මුහුණේ සෑහෙන ප්‍රමාණයක් ඉදිමි තිබුනි.
"ඕක මොකද්ද අයියේ ?මොකද වුනේ මෙතන "
සිදුවු දෙය දැනගැනීමේ කුහුලෙන් මම ඔහුගෙන් ප්‍රශ්න කලෙමි.
"මල්ලි මම මේ පැන්ශන් එක අරන් පුතාට සෙල්ලම් බඩුවක් ගන්න හරස් වීදි පැත්තට ආවා.පේමන්ට් එකේ මනුස්සයෙක්ගෙන් පොඩි හෙලිකොප්ටරයක් ගන්න හිතිලා ඒක අරන් චෙක් කරලා බැලුවා .ඒක ටිකක් දුර ගිහින් වැටුනා.මන් ඒ මනුස්සයට ඒක එපා කියලා යන්න යද්දි ඒ මනුස්සයා කිව්වා කැඩුවා නම් සල්ලි දීලා අරන් යන්න කියලා.මන් බෑ කිව්වා.ඊට පස්සෙ වෙච්ච දේ මල්ලී දැක්කනේ"
ඔහු කෙටියෙන් සිදුවු දෙය පැහැදිලි කලේය.කොටුව දුම්රිය ස්ථානයේ සිට මද දුරකින් ඇති මේ හරස්වීදි වල නොමැති දෙයක් නැති තරම්ය.නමුදු ඕනෑම අපරාධයක් වීමට තරම් අහුමුලුද විවිධාකාර මිනිසුන්ගෙන්ද වීදි මැරයින් වැනි වෙලෙන්දන්ගෙන්ද මෙම හරස්වීදි පිරි පැවතිනි.
"දැන් උනදේ උනානේ අයියේ" මට ඉබේටම කියවුනි.
"එහෙනම් ආයෙමත් වතාවක් ස්තූති මල්ලි"
ඔහු යන්නට සුදානම් වූවේය.කෙසේ නමුදු ඔහුගේ පෙනුමින් හා හැසිරිමෙන් මා හට අප්‍රකාශිත සමීපත්වයක් දැනුනි.නමුදු මේ නාදුනන ආගන්තුකයා සමග තවදුරටත් කතාබහෙහි යෙදීමට මගෙ සිතේ කුහුලක් ඇතිවුනි.
"අයියේ.කරදරයක් නැත්තන් අපි කඩේකට ගිහිල්ලා බීම එකක් බොමුද?"
මම ඇසුවේ ඔහු ගැන තවත් විස්තර දැනගන්නා අදහසිනි.
"කරදරයක් නම් නෑ මල්ලී.කෝච්චියටත් තව වෙලා තියෙනවා .එහෙනම් අපි යමුකෝ"
මා හමුදා නිලධාරියෙක් උවද ඔහුගේ දෑසේ කිසිදු බයක සේයාවකුදු නැත.තියුනු දෑස් විඩාබරය.අව්වට පිලිස්සුනු සමෙන් පසුගිය අවුරුදු කිහිපය ඔහුට අසීරු කාලයක් උදාවී ඇති බවට සාක්ශි පෙන්වයි.
"අයියා කලින් කොහෙද වැඩකලේ?පෙන්ශන් අරන් ගොඩක් කල්ද?" 
ආපනශාලාවෙන් මිලදිගත් බීම බෝතලයක් දිගු කල මා  හදිසියේම හමුවු ආගන්තුකයාගෙ තතු දැනගැනීමේ කුහුලෙන් විමසුවෙමි.
"මල්ලී කමාන්ඩෝ එකෙනේ.ලුතිනන් කෙනෙක්."
මාගේ කැමා නිලඇදුමද  හිස්වැස්මේ වු රෙජිමේන්තු ලාංඡනයද මගින් මා සේවය කරන රෙජිමේන්තුව හදුනාගැනීම අසීරු නොවේ.එනමුදු එකවර එය හදුනාගැනීමට නම් මොහුද යුධ හමුදාවේ සේවය කල අයෙක් විය යුතුය.
"ඔව්"
පුදුමයෙන් එසැවුණු දෑසින්  මා  පිලිතුරු දුන්නෙමි.
"මන් sf එකෙ හිටියේ මල්ලී.කලුපාට යුනිෆෝම් එකට තාමත් ආදරෙයි මල්ලී මම"
එසේ නම් යුධ සමයේ සතුරන් භීතියට පත් කල 'යක්ශයා අතේ දරන්නන්' නොහොත් විශේෂ බලකාය ඔහුගේ නිවස වී ඇත.ඔහුගේ කතාව ඇසීමට ඇතිවු කුතුහලය නිසාම මා ඔහුට බාධා නොකලෙමි .ආයාසයෙන් ඉදිරියට නැමී තම දිගු කලිසම එසැවු ඔහු
"යුද්දේ අපිට ගොඩක් දේවල් නැතිකලා මල්ලී" කියා  දිගු සුසුමක් හෙලීය.
සැබැවින්ම මෙතෙක් වෙලා මා සමග කිසිදු වෙනසක් නැතිව ඇවිද ආ මිනිසාගේ දෙපා යුගලම අහිමි වී ඇත.කෘතිම දෙපා යුගලක් පැලදි පුද්ගලයෙක් කියා හදුනාගැනීමට හැක්කෙ ඔහුගේ දෙපා නිරාවරණය වුවහොත් පමනි.
"2007 අවුරුද්දේ, තොප්පිගල ඔපරේෂන් එකේ අන්තිම හරිය.මල්ලී දන්නවනේ අපේ යවන්නෙ 4 දෙනාගේ ටීම්.අපිට තිබ්බෙ ඇටෑක් එකක් නෙමේ.  අපිට ගිහින් ඇටෑක් එකකට ඕනේ විස්තර ටිකක් සතියක් ඉදලා බලන්න තිබ්බේ.වෙනදට වඩා ලේසි වැඩක් නිසා අපි වැඩේ ඉවර කරලා  ඉක්මනට එන්න හැදුවේ.ඒත් නොහිතපු විදිහට අපිට ඇටෑක් එකක් ආවා.හ්ම්ම්ම්ම්.........තව විස්තර ගොඩයි මල්ලී ඒවා කියන්න ගියොත් කෝච්චියට  පරක්කු වෙනවා .අන්තිමටම මට සිහිය එද්දි මගේ කකුල් දෙක නෑ.පපුවේ බෝම්බ කෑලි හිරවෙලා .මාස අටක් ආමි හොස්පිට්ල් හිටියා.ලී කකුල් දෙකකින් අමාරුවෙන් ආයේ ඇවිදින්න ගත්තා."
ඔහු නොනවත්වා කියාගෙන යයි.පරන මතකයන් අලුත් වූ නිසාදෝ ඔහුගේ මුහුන රතු වී ඇත.
"යුද්දේ ඉවරවුනා.අපේ දරුවන්ට රටක් අපි ඉතිරිකලා ඒ ගැන සතුටුයි.මන් පෙන්ශන් අරන් අවුරුදු 3කට පස්සෙ මගේ නෝනා ඩෙංගු හැදිලා නැතිඋනා"
මෙතෙක් වෙලා තම අතීතය සිහිපත් කල ඔහු හදිසියේම නිහඩ විය.මටද කිසිවක් කියාගත නොහැකිව නිහඩව සිටියෙමි.
"මගේ පවුලේ වෙන කවුරුත් නෑ. නෝනාගෙන් උරුම වෙලා තියෙන එකම දේ මගේ පුතා මල්ලී.අද ලොකු අසරණකමක් දැනුනා මල්ලී.රට වෙනුවෙන් ගොඩක් දේවල් අපි කැපකරනවා මල්ලී.එකපාර 4 දෙනා ගිහිල්ලා 50කට උනත් ඈටෑක් කරලා තියෙනවා අපි.ඒත් අද පාරේ වැටිලා ගුටිකද්දි මට මතක් උනේ මගේ පුතාව.මාත් නැති උනොත් පුතා බලාගන්න කවුරුත් නැතිවෙනවා"
ඔහුගේ හදෙහි වු වේදනාව වචන වලින් වාතලයට එක්විය.
"ඒත් මල්ලී ඔයාගේ යුනිෆෝම් එක දැකපු ගමන් මට පුදුම සතුටක් ආවේ.කමාන්ඩෝ එක තමා හැමදාම අපිට උදව්වට එවන්නේ.කමාන්ඩෝස්ලට අමාරු වෙද්දී අපි යනවා උදව්වට.අදත් ඒ වගේම කමාන්ඩෝ කොල්ලෙක් දැක්ක ගමන් මට තේරුනා මට උදව් ආවා කියලා."
ඔහුගේ දෑස් ප්‍රිතියෙන් බබලයි.ඔහු යුද සමයේ බිහිසුණු සෙබලෙකු වූ බව දැන් නිසැකවම තහවුරු වේ.
"ඕක මොකද්ද අයියේ.අයියලා කරපු දේවල් වල හැටියට මේවා පොඩි දේවල් "
මා පැවසුවෙමි.රට වෙනුවෙන් සියල්ල කැපකල මිනිසාට අද මහමග අත්වු ඉරණම මතක් වු මට මුලුමහත් සමාජයම ගැන ඇති වූයේ වෛරයකි.
ආයාසයෙන් නැගිටගත් ඔහු  " ගොඩක් පිං මල්ලී කරපු උදව්වට .මං යන්නම් එහෙනම්.බුදුසරණයි"
ඔහුට සමුදීමට තරම් සිතක් නොවුනත් දුම්රිය ඔහුට මගඇරෙන නිසා මා තවත් බාධා නොකලෙමි.
"පරිස්සමින් යන්න අයියේ" මා පැවසුවෙමි.
මා හට මද සිනහවකින් සංග්‍රාහ කල ඔහු දුම්රියපොලේ ජනතාව අතර නොපෙනී ගියේය.ඔහු නික්මුනු පසු "අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා " යන විශේෂ බලකා ආදර්ශ පාඨය මගේ හිස වටා දෝංකාර දෙන්නට විය

Comments